හිරු අවරට යන හෝරාවේ තවත් ඉරක් ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ අහස් කුසේ මෝදු වන සඳුට ආදරය කිරීමටයි. “හිරු සඳු ආදරෙයි” ජාතික රූපවාහිනියේ පස්වරු හයයි තිහට ආලින්දය රසිකාගාරයක් කරන ඓතිහාසික කොරියානු ටෙලි අන්දරයයි.
2012 වසරේදී එම්. බී. සී. නාළිකාවෙන් විකාශය වූ “මූන් එම්බ්‍රේසිං ද සන් (ද සන් ඇන්ඩ් ද මූන් / හේරෝල් පූමෝන් දාල්) සිංහල දෙබසින් රස ගැන්වෙන්නේ “හිරු සඳු ආදරෙයි” නමිනි.
ජොසොං රාජ්‍ය සමය පසුබිම් කරගෙන ප්‍රබන්ධ කළ මේ කතාවේ චරිත සියල්ලක්ම මනඃකල්පිතය. ආදරය, ගුප්ත ශාස්ත්‍රය, කුතුහලය සපිරි මේ කතාව ලී හ්වෝන් කුමරු සහ යොන් වෝ (පසුව වූල්) වටා ගෙතී ඇත.
රාජකීය නැකැත් හලේ ආරි නම් පේනකාරිය රජුගේ අඩ සොයුරකු ඝාතනය කරනවා සිහිනෙන් දුටුවාය. රෑ මැදියම මාළිගයට දිව ගිය ඇය සැබෑවටම කුමරු ඝාතනය වනවා දකින්නීය. මිනීමැරුම සිදුකරන ලද්දේ රටේ අග රැජන (දොවාගර් රැජන) සහ ඇයට පාක්ෂික ඇමැතිවරුන් විසිනි. ඝාතකයන් ආරි දුටු අතර ඇය ඔවුන්ගෙන් බේරී පලා යාමේදී තුවාල ලබන්නීය.
තුවාල ලැබූ ඇයට පිහිටවන්නේ ගැබ්බර කුල කාන්තාවකි. කුල කාන්තාවගේ කුසෙහි වැඩෙන්නේ රටේ අග රැජන වීමට වරම් ලබන්නි ය බව ඇයට ගුප්ත බලයෙන් පෙනෙයි.
ආරි කුරිරු ඝාතකයන්ට කොටුවන අතර සිරගත කර සිටින විට තමන්ව බැලීමට එන රාජකීය නැකැත් හලේ මිතුරිය වන නොක් යොංට කුල කාන්තාවට උපදින දරුවා ආරක්ෂා කිරීමේ වගකීම පවරන්නීය.
යොන් වෝ එම වාසනාවන්ත දියණියයි. රුවින් මෙන්ම නුවණින් ද පිරිපුන් වෙමින් වැඩෙන ඇයට අහඹු ලෙස කිරුළ හිමි ලී හ්වොන් කුමරු මුණ ගැසෙයි. නව යොවුන් වියෙහි පසුවන කුමරුගේ සිත ඇය කෙරෙහි බැඳෙයි.
කිරුළ හිමි කුමරුගේ අනාගත කුමරිය තේරීමට උසස් පවුල්වල නව යෞවනියන් කිහිප දෙනකු තෝරාගෙන පුහුණු කරයි. යොන් වෝ සහ දොවාගර් අගරැජනගේ ද ඥාති දියණියක අතර තරගය පැවැත්වෙන අතර කුමරුගේ අනාගත බිසව වීමට වරම් ලැබෙන්නේ යොන් වෝටයි. තම ඥාති දියණියට එම අවස්ථාව ලබාදීම සඳහා දොවාගර් රැජන නොක් යොං නැකැත්කාරියට කියා යොන් වෝ රෝගී කර මරණයට පත් කළාය. එහෙත් නොක් යොං ආරිගේ වචනයට පිටු නොපා ගුප්ත බලයෙන් යළි ඇයට ආත්මය ලබා දුන්නීය. නැකැත්වරියක ලෙස නොක් යොං ඇය හදාවඩා ගත්තාය.
වූල් ඇයගේ අලුත් ආත්මයේ නමයි. ලී හ්වෝන් සහ වූල් හමුවීමේ දෛවය වෙනස් කිරීමට දොවාගර් අග රැජනට ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් ඉර සඳු එක්වීම දුලබ සේම ඔවුනගේ හමුවීම ද දුෂ්කර ක්‍රියාවලියක රසාලිප්ත අවසානයක් වෙයි.
2012 වසරේ විකාශය වූ නාට්‍ය අතරින් කොරියාවේ වඩාත් ජනප්‍රියම සහ හොඳම නාට්‍ය බවට පත්වූයේ “මූන් එම්බ්‍රේසිං ද සන්” ය. පෙක් සං, එම් බී සී සම්මාන, කොරියානු නාට්‍ය සම්මාන වර්ල්ඩ්ෆෙස්ට් - හූස්ටන් ආදි සම්මාන උලෙළ ගණනාවකදීම මේ නාට්‍යයට සම්මාන රැසක් හිමි විය.
එදා මෙදා තුර (සර්වකාලීන) කොරියානු රසිකයන් අතර වඩාත් ජනප්‍රිය නාට්‍ය පනහ අතර හතළිස් හය වැනි තැනට ජනතා මනාපයෙන් තේරී ඇත්තේ මූන් එම්බ්‍රේසිං ද සන් ය. නාට්‍ය නිර්මාණය කර තිබෙන්නේ එම නමින්ම යුතු ජුං ඉයුන් ග්වොල්ගේ නවකතාවෙනි.
ජපානය, පිලිපීනය, සිංගප්පූරුව, ඉරානය, තායිලන්තය, හොංකොං, තායිවානය, මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල නාළිකා මඟින් ද මෙම නාට්‍ය විකාශය කර තිබෙන අතර එම් බී සී නාළිකාවෙන් විකාශය වූ නාට්‍ය අතරින් දෙවැනි තැනට වැඩිම ආදායමක් ලැබී ඇත්තේ ද මෙමඟිනි.
කොරියානු නළුවන් අතර කිම් යූ හියුන් අංක එකේ නළුවා බවට පත්වූයේ ලී හ්වෝන් චරිතයෙනි. ලී හ්වෝන් චරිතය කොරියාවේ “හ්වෝන් උන්මාදයක්” “හ්වෝන් සින්ඩ්‍රෝමයක්” ඇති කළේය.
කිම්ට වෙළෙඳ දැන්වීම් දාහතක පෙනී සිට වාර්තාවක් ද පිහිටුවීමට හැකි විය. ලැප්ටොප්, කැමරා, ආපනශාලා, ආදි බොහෝ දේ ඒ අතර තිබිණි. තවමත් විසිහත් හැවිරිදි ඔහු නළුවකු, මෝස්තර නිරූපණ ශිල්පියකු වාගේම ගායකයකු ද වෙයි.
ප්‍රධාන තාරකාව වූ තිස්තුන් හැවිරිදි කිම් හියුන් ජූගේ රංගන ජීවිතයට වාසනාව ගෙනාවේ මූන් එම්බ්‍රේසිං ද සන් නාට්‍යයේ යොන් හා වූල් චරිතයි.
“හිරු සඳු ආදරෙයි” නාට්‍යයේ අපට හුරුපුරුදු කොරියානු තරු කීපයක්ම රංගනයේ යෙදෙති. “සිරිමැටි සිත්තරාවි” නාට්‍යයේ ජොයිගේ කුඩා කාලය නිරූපණය කළ ජින් ජී හී, සුජාත දියණිය නාට්‍යයේ හං පාලිකාවට රැඟු යෑං මි-කියුං ද ඒ අතර වෙති. “ද මූන් එම්බ්‍රේසිං ද සන් නාට්‍ය දර්ශන බොහොමයක්ම රූගත කර තිබෙන්නේ දොංයී රූගත කළ යොංගි ප්‍රාන්තයේයි.
“හිරු සඳු ආදරෙයි” හඬ කැවීම් අදියුරු උපදෙස් තේමා ගී නිර්මාණය සහ සැකසුම හඬ කැවීම් ඒකකයේ අදියුරු අතුල රන්සිරිලාල් ගෙනි. ජයන්ත රත්නායක සංගීතයෙන් ද සෝමපාල රත්නායක තනු නිර්මාණයෙන් ද ගායනයෙන් රොහාන් ශාන්ත බුලේගොඩ, නෙලූ අධිකාරී ද දායක වී තිබේ.




